ජුලි 07, 2024
දීඝවාපි මහා දාගැබෙහි තැන්පත් කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු රැගත් රථ පෙළ ගිරිතලේ ශ්‍රී ඉසුරුසුමන විහාරයෙන් පිටත්වේ
දීඝවාපි මහා දාගැබෙහි ධාතු ගර්භයෙහි සහ නීලගිරි මහා සෑයේ තැන්පත් කිරීමට නියමිත පිළිම වහන්සේලා, සර්වඥ ධාතූන් වහන්සේලා රැගත් රථ පෙළ ගරුතර මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ ගිරිතලේ ශ්‍රී ඉසුරුසුමන විහාරයෙන් අද (ජූලි 07) දින උදෑසන ගමන් ආරම්භ කරන ලදී.
පූජනීය වස්තූන් රැගත් මෙම රථ පෙරහැර අද දින පොළොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, ගිරාදුරුකෝට්ටේ හරහා මහියංගන රජමහා විහාරය වෙත ලඟා වීමට නියමිත අතර, මෙකී ගමන් මාර්ගය ඔස්සේ පිහිටි සියලු ප්‍රධාන නගරවලදී සැදැහැවත් ඔබ සියලු දෙනා හට මෙම පූජනීය වස්තූන් වන්දනාමාන කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද කටයුතු යොදා තිබේ.
හෙට (ජූලි 08) දින උදෑසන මෙම රථ පෙරහැර නැවත මහියංගන පුදබිමෙන් ගමන් ආරම්භ කර පදියතලාව, මහඔය, අම්පාර හරහා දීඝවාපි පුදබිම දක්වා ගමන් කරනු ඇත.
තේජමාන වූත්, අති උතුම් වූත් දීඝවාපි සෑ රඳුන්ගේ ශ්‍රී විභූතිය යලි ස්ථාපනය කොට සම්බුදු සසුනට පිදුම් දෙනු වස් සිදු කෙරෙන මහඟු පුණ්‍යකර්මයේ, දීඝවාපි මහා දාගැබෙහි ධාතු ගර්භයෙහි සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය සහ ඊට සමගාමීව දීඝවාපි පූජා භූමියේ ඉදිකෙරෙන අභිනව ධාතු මන්දිරය, “අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමි අනුස්මරණ සන්ථාගාර ශාලාව” සහ දාන ශාලාව, සම්බුදු සසුනට පුජා කිරීම එළඹෙන ජූලි මස 14 වන දින පැවැත්වේ.
දේශයේ චිරස්ථිතිය උදෙසා දිවි පිදූ රණවිරුවන් හට පින් පැමිණවීමත්, සියලු රටවැසියන්ට සෙත් පැතීමත් අරමුණු කරගනිමින් දීඝවාපි පුදබිමේ පවත්වනු ලබන සතිපිරිත් සජ්ජායනාව අද සිට ලබන 14 වන දින දක්වා අඛණ්ඩව පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
පින් කැමති ඔබට සැමටද දීඝවාපි සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ලබාදෙන පුණ්‍යාධාර ලංකා බැංකු තැප්‍රොබේන් ශාඛාවේ අංක 86860000 දරණ “දීඝවාපිය අරුණ” ගිණුමට බැර කිරීමෙන් චෛත්‍යරාජයාණන් වහන්සේගේ ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වන මහඟු පුණ්‍යකර්මයට දායක විය හැකිය.