ජුලි 06, 2024
දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය සහ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ උත්සවයේ පෙර සූදානම ආරක්ෂක ලේකම්ගේ නිරීක්ෂණයට
දීඝවාපි මහා සෑ රඳුන්ගේ ධාතු ගර්භයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිදන් වස්තූන් තැන්පත් කිරීමේ මහෝත්සවය සම්බන්ධයෙන් වන පුර්ව සුදානම පිළිබඳ සොයා බැලීමේ අරමුණින් දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමුවන භාරකරු “දීඝවාපිය අරුණ භාරය” වන ආරක්ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න, අද (ජූලි 06) දින ඓතිහාසික දීඝවාපිය පුදබිමෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
දීඝවාපි මහා දාගැබෙහි ධාතු ගර්භයෙහි සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය සහ ඊට සමගාමීව දීඝවාපි පූජා භූමියේ ඉදිකෙරෙන අභිනව ධාතු මන්දිරය, “අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමි අනුස්මරණ සන්ථාගාර ශාලාව” සහ දාන ශාලාව, සම්බුදු සසුනට පුජා කිරීමේ පුජෝත්සවය ද එළඹෙන ජූලි මස 14 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇත.
ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සහ ගරුතර මහා සංඝරත්නයේ මෙන්ම ව්‍යාපෘතිය හා සම්බන්ධ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්, ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධව දැනට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡාවක් පවත්වනු ලැබූ අතර, ඒ අනුව එළඹුණු නිගමනයන්ට අනුව වඩාත් ඵලදායි ඉදිරි සැලසුම් සඳහා ව්‍යාපෘති නිලධාරීන්ට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීම සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ධාතු තැන්පත් කිරීමේ උත්සවයට අදාලව සැලසුම් සකස් කිරීම ද සිදු කෙරිණි.
දීඝවාපිය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත ස්වාමින් වහන්සේ, ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ සභාපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාණ ස්වාමින්වහන්සේ, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරල් ෂෙවාන්ත් කුලතුංග, ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර, ගිණිකොනදිග නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග සහ ව්‍යාපෘති නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.