ජුලි 05, 2024
දීඝවාපි මහා දාගැබෙහි තැන්පත් කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු රැගත් රථ පෙළ කොළඹින් පිටත්වේ
දීඝවාපි මහා දාගැබෙහි ධාතු ගර්භයෙහි සහ නීලගිරි මහා සෑයේ තැන්පත් කිරීමට නියමිත පිළිම වහන්සේලා, සර්වඥ ධාතූන් වහන්සේලා රැගත් රථ පෙළ ගරුතර මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයෙන් අද (ජූලි 05) දින උදේ ගමන් ආරම්භ කරන ලදි.
පූජනීය වස්තූන් රැගත් මෙම රථ පෙරහැර කිරිබත්ගොඩ, අඹේපුස්ස, කුරුණෑගල හරහා ගමන් කොට අද සන්ධ්‍යාවේ මැල්සිරිපුර සිරි සුගතපාලාරාම පිරිවෙන් විහාරස්ථානය වෙත ලඟා වීමට නියමිත අතර, මෙකී ගමන් මාර්ගය ඔස්සේ පිහිටි සියලු ප්‍රධාන නගරවලදී සැදැහැවත් බැතිමතුන් හට මෙම පූජනීය වස්තූන් වන්දනාමාන කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද කටයුතු යොදා තිබේ.
ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින්වහන්සේ, දීඝවාපිය අරුණ භාරයේ භාරකතෘ සහ පළමුවන භාරකරු වන ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, විහාරස්ථ දායක සභාව සහ බෞද්ධයා නාලිකාවේ අධ්යක්ෂ මණ්ඩලය ද මෙම අවස්ථාවට එක් විය.
හෙට දින උදෑසන මෙම රථ පෙරහැර නැවත ගමන් ආරම්භ කර ගලේවෙල, දඹුල්ල, මින්නේරිය හරහා ගිරිතලේ ශ්‍රී ඉසුරුසුමන විහාරය දක්වා ද, ජූලි 07 වන දින පොළොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, ගිරාදුරුකෝට්ටේ හරහා මහියංගන රජමහා විහාරය දක්වා ද, ජූලි 08 වන දින පදියතලාව, මහඔය, අම්පාර හරහා දීඝවාපී පුදබිම දක්වා ගමන් කරනු ඇත.
දීඝවාපී සෑ රඳුන්ගේ තේජමාන ශ්‍රී විභූතිය යලි ප්‍රතිෂ්ඨාපනය කර සම්බුදු සසුනට පිදුම් දෙන මහඟු පුණ්‍යකර්මයේ, දීඝවාපි මහා දාගැබෙහි ධාතු ගර්භයෙහි සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය සහ ඊට සමගාමීව දීඝවාපි පූජා භූමියේ ඉදිකෙරෙන අභිනව ධාතු මන්දිරය, “අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමි අනුස්මරණ සන්ථාගාර ශාලාව” සහ දාන ශාලාව, සම්බුදු සසුනට පුජා කිරීම ද එළඹෙන ජූලි මස 14 වන දිනට යෙදී ඇත.
දීඝවාපි සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ලබාදෙන පුණ්‍යාධාර ලංකා බැංකු තැප්‍රොබේන් ශාඛාවේ අංක 86860000 දරණ “දීඝවාපිය අරුණ” ගිණුමට බැර කිරීමෙන් මෙම මහඟු පුණ්‍යකර්මයට දායක විය හැකිය.