ජුලි 04, 2024
දීඝවාපි මහා දාගැබෙහි සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජූලි මස 14 වෙනි දා...
- පිළිම සහ කරඬු වහන්සේලා රැගත් රථ පෙළ ජූලි 5 කොළඹින් පිටත්වේ.
විවිධ ආක්‍රමණ අභිමුව හානියට පත් දීඝවාපි සෑ රඳුන්ගේ තේජමාන ශ්‍රී විභූතිය යලි ප්‍රතිෂ්ඨාපනය කර සම්බුදු සසුනට පිදුම් දෙන මහඟු පුණ්‍යකර්මයේ, දීඝවාපි මහා දාගැබෙහි ධාතු ගර්භයෙහි සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය එළඹෙන ජූලි මස 14 වන දින සුභ මුහුර්තියෙන් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට ඇත.
මෙම පුණ්‍ය මහෝත්සවයට සමගාමීව දීඝවාපි පූජා භූමියේ ඉදිකෙරෙන අභිනව ධාතු මන්දිරය, වන්දනාමානය වෙනුවෙන් පුදබිම වෙත පැමිණෙන ජනතාවගේ නවාතැන් පහසුව සලසාලන “අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමි අනුස්මරණ සන්ථාගාර ශාලාව” සහ දාන ශාලාව සම්බුදු සසුනට පුජා කිරීම ද මෙදින සිදුකිරීමට නියමිතය.
දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමුවන භාරකරු “දීඝවාපිය අරුණ භාරය” වන ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ මඟපෙන්වීම යටතේ ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ මෙන්ම සැදැහැති ලක්වාසී ජනිජනයාගේ ශ්‍රම දායකත්වයෙන් ගොඩනැගෙන, උතුම් දීඝවාපි සෑ රඳුන් අභියසදී රට දැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් හට පින් පැමිණවීමත්, ලක්වැසි සියලු ජනතාවට සෙත් පැතීමත් අරමුණු කරගනිමින් ජූලි මස 07 දින සිට 14 දින දක්වා සතිපිරිත් සජ්ජායනාවක් ද පැවැත්වේ.
දීඝවාපි මහා දාගැබෙහි ධාතු ගර්භයෙහි තැන්පත් කිරීමට නියමිත පිළිම වහන්සේලා රැගත් රථය, කරඬු වහන්සේලා රැගත් රථය සහ නීලගිරි මහා සෑයේ තැන්පත් කෙරෙන කරඬු වහන්සේලා රැගත් රථය ඇතුළු රථ පෙළ ජූලි මස 05 වන දින උදෑසන කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කොට එදින කිරිබත්ගොඩ, අඹේපුස්ස, කුරුණෑගල හරහා මැල්සිරිපුර සිරි සුගතපාලාරාම පිරිවෙන් විහාරස්ථානය දක්වා ද, ජූලි 06 වන දින උදෑසන ගමන් ආරම්භ කර ගලේවෙල, දඹුල්ල, මින්නේරිය හරහා ගිරිතලේ ශ්‍රී ඉසුරුසුමන විහාරය දක්වා ද, ජූලි 07 දින පොළොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, ගිරාදුරුකෝට්ටේ හරහා මහියංගන රජමහා විහාරය දක්වා ද, පසුදා එනම් ජූලි 08 වන දින පදියතලාව, මහඔය, අම්පාර හරහා දීඝවාපි පුදබිම දක්වා ද වැඩම කරවීමට නියමිතය. මෙම ගමන් මාර්ගය ඔස්සේ පිහිටි සියලු ප්‍රධාන නගරවලදී සැදැහැවතුන්ගේ වන්දනාමානය උදෙසා පහසුකම් සැලසීමට ද කටයුතු යොදා තිබේ.
අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පුණ්‍යෝත්සවයට ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු සෙන්තිල් තොණ්ඩමාන් මැතිතුමා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මැතිතුමා, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගිත්වය ද අපේක්ෂා කෙරේ.
සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලක්දිවට වැඩමවා වදාළ පරම පුජනිය සොලොස්මස්ථාන අතුරින් ඓතිහාසික දීඝවාපි මහා පින්බිම ප්රමුඛස්ථානයක් ගනු ලබයි.
මෙම උතුම් කර්තව්‍ය සඳහා ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහකත්වය දරණ බෞද්ධයා නාලිකාව පිහිටි කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරය, අම්පාර දීඝවාපි රජමහා විහාරය සහ මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනය යන වෙහෙර විහාරස්ථාන වලදී දීඝවාපි චෛත්‍යරාජයාණන් වහන්සේගේ ධාතු ගර්භයේ තැන්පත් කිරීම සඳහා බුදු පිළිම සහ ධාතු කරඬු ආදී නිදන් වස්තූන් ලබාගෙන මහත්ඵල මහානිශංස වූ මෙම පින්කමට දායක වීමට ඔබට ද අවස්ථාව සලසා දී ඇත. එමෙන්ම දීඝවාපි සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ලබාදෙන පුණ්‍යාධාර, පහත විස්තර සඳහන් ලංකා බැංකු තැප්‍රොබේන් ශාඛාවේ “දීඝවාපිය අරුණ” ගිණුමට බැර කිරීමෙන් ද මෙම මහඟු පුණ්‍යකර්මයට දායක විය හැකිය.
ගිණුම් අංකය : 86860000
බැංකු කේතය : 7010
ශාඛා කේතය : 747
ශිෆ්ට් කේතය : BCEYLKLX
ජීවිතයට පින්කෙතක් වන් බුදුන් වැඩි දීඝවාපිය සැදැහැ සිතින් වන්දනා කරගැනීමේ අති දුර්ලභ වූ මෙම පුණ්‍යෝත්සවයට සහභාගිවන ලෙස ලෝකවාසී සියලුම බෞද්ධ ජනතාව වෙත මෙයින් ආරාධනා කර සිටී.