ජුනි 24, 2024
ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය සහ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ උත්සවයේ පෙරසූදානම පිළිබඳ සමාලෝචනය කෙරේ
දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමුවන භාරකරු “දීඝවාපිය අරුණ භාරය” වන ආරක්ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න, අද (ජුනි 24) අම්පාර ඓතිහාසික දීඝවාපිය පුදබිමෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, දීඝවාපි මහා සෑ රඳුන්ගේ ධාතු ගර්භයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිදන් වස්තූන් තැන්පත් කිරීමේ මහෝත්සවය සම්බන්ධයෙන් වන පුර්ව සුදානම පිළිබඳ සාකච්ඡාවක් අද (ජුනි 24) දීඝවාපි පුදබිම් පරිශ්‍රයේදී පැවැත්විණි.
එළඹෙන ජුලි 14 වන දින දීඝවාපිය සෑයේ ධාතු ගර්භය තුළ සර්වඥ ධාතූන් වහන්සේ සහ නිධන් වස්තු තැන්පත් කිරීමට සැලසුම් කර ඇත. ඊට සමගාමිව දීඝවාපී පුදබිම් පරිශ්‍රය තුල අභිනවයෙන් ඉදිකෙරෙන ධාතු මන්දිරය, අති පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමි අනුස්මරණ සන්තාගාර ශාලාව සහ දාන ශාලාව විවෘත කොට සම්බුදු සසුනට පූජා කිරීමේ පුජෝත්සවය ද පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඒ අනුව ඓතිහාසික දීඝවාපිය පුදබිම ආශ්‍රිතව සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සහ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ උත්සවයේ පෙරසූදානම පිළිබඳව මෙහිදී විශේෂයෙන් අවධානය යොමු විය.
නිරීක්ෂණ චාරිකාව අතරතුර ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්, ව්‍යාපෘතියේ ඉදිකිරීම් සම්බන්ධයෙන් දැනට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් ඒ අනුව කඩිනමින් සහ ඵලදායී ලෙස වැඩකටයුතු නිම කිරීම සඳහා ව්‍යාපෘති නිලධාරීන්ට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීමේ අරමුණින් සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ධාතු තැන්පත් කිරීමේ උත්සවයට අදාලව සැලසුම් සකස් කිරීමේ අරමුණින් විශේෂ රැස්වීමක් ද පැවැත්විණි.
දීඝවාපිය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත ස්වාමින් වහන්සේ, ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ සභාපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාණ ස්වාමින් වහන්සේ, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරල් ෂෙවාන්ත් කුලතුංග, ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර, ගිණිකොනදිග නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග, ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන විදුලි ඉංජිනේරු, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති, ජල සම්පාදන මණ්ඩලයේ කළමනාකරු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.