මැයි 31, 2024
ඓතිහාසික දීඝවාපි පුදබිමේ සහ නීලගිරි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කෙරේ
ඓතිහාසික දීඝවාපි පුදබිමේ සහ ලාහුගල පිහිටි නීලගිරි මහා සෑයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය අධීක්ෂණය සඳහා දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමුවන භාරකරු “දීඝවාපිය අරුණ භාරය” වන ආරක්ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න, ඊයේ (මැයි 30) එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එළඹෙන ජුලි 14 දින දීඝවාපි ස්තුපයේ ධාතු ඝර්භයේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ උත්සවය පැවැත්වීමට නියමිතය. ඊට සමගාමීව එම පූජා භූමියේ ඉදි කෙරෙන නව ධාතු මන්දිරය සහ විශ්‍රාම ශාලාව විවෘත කිරීමද සැලසුම් කර ඇත. මේ සඳහා වන පෙර සුදානම සහ දීඝවාපි ස්ථුපය සහ නීලගිරි මහා සෑය පුදබිම් ආශ්‍රිතව සිදු කෙරෙන අනෙකුත් ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම, එම ඉදිකිරීම් කඩිනම් මෙන්ම ඵලදායි අයුරින් සිදුකිරීම සඳහා ව්‍යාපෘති නිලධාරීන් වෙත තාක්ෂණික උපදෙස් ලබාදීම, දැනට පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සහ ඉදිරි වැඩ කටයුතු සිදුකරන ආකාරය සැලසුම් කිරීම මෙම සංචාරයේ අරමුණු විය.
යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ශෙවාන්ත් කුලතුංග, ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර, ගිණිකොණ දිග නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාස්තු විද්‍යාත්මක සංරක්ෂණ අධ්යක්ෂ, වාස්තු විද්‍යාඥ ප්‍රසන්න බි. රත්නායක මහතා, කර්නල් මොහාන් කුමාර් සහ තාක්ෂණික කමිටුවේ විද්වත් සාමාජිකයින් කිහිප දෙනෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.