මැයි 16, 2024
'දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා' ඓතිහාසික මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට වැඩම කරවයි
දීඝවාපි මහා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර හමුවූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍යය සැදැහැවත් ජනී ජනයාගේ වන්දනාමානය සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් සිදුකරනු ලබන “දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” පසුගියදා ඓතිහාසික මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට වැඩම කරවන ලදි.
ඒ අනුව, මැයි 15 සහ 16 යන දිනයන්හි ගලේවෙල බම්බාව රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ මෙම පුජනීය වස්තූන් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව මාතලේ දිස්ත්‍රික්කයේ සැදැහැවත් ජනතාවට වන්දනාමානය සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් තවත් ප්‍රදේශ කිහිපයකට මෙම පුජනීය වස්තූන් වැඩම කරවීමට කටයුතු සුදානම් කර ඇත.
ඒ අනුව, මෙම උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය මැයි 17 සහ 18 යන දිනයන් හිදී දඹුල්ල අතුපාරයාය විහාරස්ථානයේ දි ප්‍රදර්ශනය කෙරෙන අතර, 19 දින නාඋල නාතිස්ස රජමහා විහාරයේදී ද, 20 සහ 21 යන දිනයන් හිදී මාතලේ අලුවිහාරයේදී ද, මැයි 22 සිට 27 වැනිදා උදෑසන දක්වා මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේදී ද මහජන වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කිරීමට කටයුතු සුදානම් කර ඇත.
මෙම පරම පුජනිය වස්තූන් සියැසින් දැක වන්දනාකර කුසල් උපදවා ගැනීමටත්, දීඝවාපිය මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට සම්මාදම් වීමටත්, පින් කැමති ලක්වාසී, ප්‍රදේශවාසී සැම දෙනාටම මෙයින් අවස්ථාව සැලසෙනු ඇත.