දෙසැම්බර් 29, 2023
නව වසරට ආශිර්වාද පතමින් “දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” සබරගමුවේ තවදුරටත්
දීඝවාපි මහා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර හමුවූ සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චුඩා මාණික්‍යය සැදැහැවත් ජනී ජනයාගේ වන්දනාමානය සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් සිදුකෙරෙනු ලබන “දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” සබරගමු පුරවරයට ආශිර්වාද ගෙන දෙමින් දෙසැම්බර් 31 වන දින දැරණියගල ශ්‍රී සුමනාරාමය වෙත වැඩම කරවනු ඇත.
මෙම උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය දැරණියගල ශ්‍රී සුමනාරාම පින් බිමේ දෙසැම්බර් 31 හා ජනවාරි පළමු වන දින ප්‍රදර්ශනය කෙරෙන අතර, ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාවට මෙම උතුම් පුජණිය වස්තුන් සියසින් දැක වන්දනාමාන කිරීමටත් නව වසරේ මෙම උතුම් සර්වඥ ධාතූන් වහන්සේලාගේ ආශිර්වාද ලබාගැනීමටත් මින් අවස්ථාව උදාවනු ඇත.
ඉන් අනතුරුව ජනවාරි 2 හා 3 යන දෙදින රුවන්වැල්ල ශ්‍රී ස්වර්ණ වාලුකාරාමයේදී ද, ජනවාරි 4 සහ 5 යන දිනයන්හි කරවනැල්ල කබුලුමුල්ල රජමහා පත්තිනි දේවල පරිශ්‍රයේදී ද, 6 හා 7 දෙදින දෙහිඕවිට ශ්‍රී සුසිලෝදය මහ පිරිවෙන් විහාරයේදී ද මෙම පුජණිය සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය මහජන වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
තවද මෙම පරම පුජනිය වස්තුන් සියැසින් දැක වන්දනාකර කුසල් උපදවා ගැනීමටත් දීඝවාපිය මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට සම්මාදම් වීමටත් පින් කැමති ලක්වාසී, ප්‍රදේශවාසී ඔබ සැමට මින් අවස්ථාව සැලසෙනු ඇත.