දෙසැම්බර් 14, 2023
රුවන්පුර ජනතාවට දීඝවාපී මහා සෑ ධාතූ වන්දනා කිරීමේ භාග්‍යය තවදුරටත්
දීඝවාපි මහා සෑය ප්‍රතිසංස්කරණ අතරතුර හමුවූ සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍ය ලක්වැසි සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් සිදුකෙරෙන “දීඝවාපී මහා සෑ ධාතූ වන්දනා” මෙම සෙනසුරාදා (දෙසැ. 16) දින උදැසන කහවත්ත පුරාණ රජ මහා විහාරයට වැඩම කරවීමට නියමිතය.
දෙසැම්බර් 16 සහ 17 යන දෙදින තුළ සැදැහැවත් ජනී ජනයාගේ වන්දනාමානය සඳහා කහවත්ත පුරාණ රජ මහා විහාරයේ ප්‍රදර්ශනය කෙරෙන මෙම සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය අනතුරුව, රත්නපුර ප්‍රදේශය ආවරණය කරමින් බෞද්ධ සිද්ධස්ථාන වෙත වැඩම කරවීමට නියමිතව ඇත. රත්නපුර සහ අවට ප්‍රදේශ වල සැදැහැවත් ජනතාවට මෙම උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය සියැසින් දැකගැනීමේ භාග්‍යය මින් උදාවනු ඇත.
විවිධ ආක්‍රමණ හමුවේ හානියට පත්ව ඇති දීඝවාපී සෑ රඳුන් පෙර තිබු ශ්‍රී විභූතියෙන් දැකගැනීමේ අරමුණින් සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර, මහා සෑ රදුන්ගේ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය සියැසින් දැක වන්දනාමාන කරගනිමින් කුසල් උපදවා ගැනීමටත්, දීඝවාපිය මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සම්මාදම් වීමටත් පින් කැමති ලක්වැසි දනන් හට මින් අවස්ථාව සැලසෙනු ඇත.
මෙම ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය දෙසැම්බර් මස 18 සිට 20 දින උදැසන දක්වා පැල්මඩුල්ල ගණේගම රජ මහා විහාරයේදීත්, දෙසැම්බර් මස 20 සිට 22 දින උදැසන දක්වා නිවිතිගල ක්ෂේත්රාරාම විහාරයේදීත්, දෙසැම්බර් මස 22 සිට 24 දින උදැසන දක්වා පලාවෙල වෙරගම ශ්‍රී පුෂ්පාරාමයේදීත් වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව රත්නපුර ශ්‍රී සුමන සමන් දේවාලය වෙත වැඩම කරවීමට නියමිතය.