නොවැම්බර් 14, 2023
'දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා' ඓතිහාසික රුහුණු පුරවරයට
- දීඝවාපිය මහා සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය කිරම, මුල්ගිරිගල, කසාගල, කතරගම, තිස්සමහාරාම හා ලුණුගම්වෙහෙර ප්‍රදේශයන්හි ඓතතිහාසික සිද්ධස්ථාන වෙත වැඩම කෙරේ.
දීඝවාපිය මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර සොයාගන්නා ලද, ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍ය ලක්වැසි සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් සිදුකෙරෙන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය දිවයින පුරා වැඩමවීමේ මහඟු පිංකම මේ වනවිට රුහුණු පුරවරය ආවරණය කරමින් ඓතිහාසික සිද්ධස්ථාන වෙත වැඩම කරවමින් සිටී.
ශ්‍රී බුද්ධ වර්ෂ 2567 (2023) නිකිණි මස 30 වන පොහොය දින කැළණිය රජ මහා විහාරයෙන් ආරම්භ කරනු ලැබූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ දීඝවාපී මහ සෑ රඳුන්ගේ චූඩා මාණික්‍යය ප්‍රදර්ශනය දින 150ක කාලයක් දිවයින පුරා බැතිමතුන්ගේ වන්දනාමානයට වැඩම කිරිමට නියමිතයි.
බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවා වදාළ පුජනීය සොලොස්මස්ථාන අතුරින්, පුරාණ ආගමික ස්ථානයක් ලෙස දීඝවාපිය පුදබිම වන්දනීය වන අතර, බුදුරජාණන් වහන්සේගේ ‘නිය ධාතුන් වහන්සේ’ තැන්පත් කිරීමෙන්, පසුකාලීනව රජ වූ සද්ධාතිස්ස රජතුමා විසින් මෙම ස්තුපය ඉදිකර ඇත. විවිධ ආක්‍රමණ හමුවේ හානියට පත්ව ඇති මෙම මහා සෑ රඳුන් පෙර තිබු ශ්‍රී විභූතියෙන් දැකගැනීමේ අරමුණින් සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.
නොවැම්බර් 15 වන දින උදෑසන සිට 17 වන දින උදෑසන දක්වා කිරම සිත්තම් ගල්ලෙන රජමහා විහාරයේදීත්, 17 වන දින සිට 18 වන දින සවස දක්වා මුල්ගිරිගල රජමහා විහාරයේදීත්, 18 වන දින සවස සිට 21 වන දින උදෑසන දක්වා කසාගල රජමහා විහාරයෙදීත්, 21 වන දින උදෑසන සිට 24 වන දින උදෑසන දක්වා කතරගම කිරිවෙහෙරදීත්, 24 වන දින උදෑසන සිට 27 වන දින උදෑසන දක්වා තිස්සමහාරාම විහාරස්ථානයේදීත්, 27 වන දින උදෑසන සිට 30 වන දින උදෑසන දක්වා ලුණුගම්වෙහෙර පුරාණ විහාරයේදීත්, බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය ප්‍රදර්ශනය කෙරෙන අතර, එය සියැසින් දැක වන්දනාකර කුසල් උපදවා ගැනීමටත් දීඝවාපිය මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට දායකවීමටත් සැදැහැ සිතැති ලක්වාසී ඔබ සැමට අවස්ථාව සැලසෙනු ඇත.