සැප්තැම්බර් 11, 2023
දීඝවාපි සෑ රදුන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය වැඳපුදා ගැනීමට බැතිමතුන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට
දීඝවාපිය මහසෑ රදුන්ගේ සර්වඥ ධාතුන්වහන්සේලා සහ චූඩා මාණික්‍ය වැඳ පුදා ගැනීම සඳහා බැතිමතුන් ඊයේ (සැප්තැම්බර් 10) බෙල්ලන්විල රජමහා විහාරයට පැමිණ සිටියහ. ලක්වැසි සැදැහැවත් ජනතාවට සියසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම සර්වඥ ධාතුන් වහන්සේලා සහ චුඩා මාණික්‍ය ප්‍රදර්ශනය පසුගියදා ආරම්භ විය.
දීඝවාපී මහසෑ රඳුන්ගේ තැන්පත් කර තිබී සොයා ගන්නා ලද සර්වඥ ධාතූන් වහන්සේලා මෙන්ම දීඝවාපී මහා සෑයේ පැලඳ වීමට නියමිත මැණික් ගල් 2800 කට වැඩි ප්‍රමාණයක් ඔබ්බවා නිම කර ඇති චූඩා මාණික්‍යය බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා අද දක්වා බෙල්ලන්විල රජමහා විහාරයේ ප්‍රදර්ශනය කෙරේ. ඉන් අනතුරුව හෙට (12) ආගමික පෙරහැරකින් පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් මහා විහාරයට වැඩම කිරීමට නියමිතය.
අනතුරුව මෙම ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය මෙම මස 13 වන දින රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙනේදිත්, 14 වන දින මහරගම සිරි වජිරඤාන ධර්මායතනයේදීත්, 15 වන දින කෝට්ටේ රජමහා විහාරයේදීත් සියැසින් දැක වන්දනාකර කුසල් උපදවා ගැනීමට සැදැහැවත් ලක්වාසි ජනී ජනයාට මින් අවස්ථාව උදාවෙනු ඇත.