සැප්තැම්බර් 04, 2023
දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා කොළඹ ගංගාරාම විහාරස්ථානයට වැඩම කරවයි
කැලණිය රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබු දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය සැදැහැවත් ජනතාවගේ වන්දනාමානය සඳහා විචිත්‍රවත් පෙරහැරකින් ඊයේ (සැප් 03) ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවන ලදි.
බුදුන්ගේ පා පහස ලද දීඝවාපිය පිංබිමේ ප්‍රතිසංස්කරණය කෙරෙන මහසෑ රඳුන්ගේ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය සියැසින් දැක වන්දනා කර කුසල් උපදවා ගැනීමටත්, දීඝවාපිය මහසෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට දායකවීමටත් සැදැහැ සිතැති ලක්වාසී ඔබ සැමටද මින් අවස්ථාව සැලසෙනු ඇත.
සැප්තැම්බර් 03 සහ 04 යන දෙදින තුළ සැදැහැවත් ජනී ජනයාගේ වන්දනාමානය සඳහා කොළඹ ගංගාරාම විහාරයේදී සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය ප්‍රදර්ශනය කෙරෙන අතර, සැප්තැම්බර් 05 වැනි දින කොළඹ ආනන්ද විද්‍යාලය වෙත වැඩම කිරීමට නියමිතයි. එදින පුරාවට පාසල් සිසුන්ට මෙන්ම සැදැහැවත් ජනතාවටද ආනන්ද විද්‍යාලය භූමියේදී මෙම උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය සියසින් දැක ගැනීමේ භාග්‍යය උදාවනු ඇත.
අනතුරුව මෙම ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය 06 සහ 07 යන දිනවල කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදීත්, 08 වැනි දින කඩුවෙල සංඝ පිටි පුරාණ විහාරස්ථානයේදීත්, 09 වැනිදා පනාගොඩ බෝධිරාජාරාමයේදීත්, සැප්තැම්බර් 10 සහ 11 යන දිනවල බෙල්ලන්විල රාජ මහා විහාරයේදීත් බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කෙරෙනු ඇත.