අගෝස්තු 31, 2023
දීඝවාපි සෑ රදුන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ චුඩා මාණික්‍ය වැඳපුදා ගැනීමට සැදැහැවතුන් දහස් ගණනින් කැළණි විහාරයට
දීඝවාපිය මහසෑ රදුන්ගේ සර්වඥ ධාතුන්වහන්සේලා සහ චුඩා මාණික්‍ය ලක්වැසි සැදැහැවත් ජනතාවට සියසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් කැළණිය රජමහා විහාරයෙන් පසුගියදා ආරම්භ වූ සර්වඥ ධාතුන් වහන්සේලා සහ චුඩා මාණික්‍ය ප්‍රදර්ශනයට ඊයේ (අගෝස්තු 30) නිකිණි පොහොය දිනයේ දී දහස් ගණනින් සැදැහැවතුන් කැළණියට එක්රැස්ව වන්දනාමාන කර ගන්නා ලදි.
දීඝවාපී මහසෑ රඳුන්ගේ තැන්පත් කර තිබී සොයා ගන්නා ලද සර්වඥ ධාතූන් වහන්සේලා මෙන්ම දීඝවාපී මහා සෑයේ පැලඳ වීමට නියමිත මැණික් ගල් 2800 කට වැඩි ප්‍රමාණයක් ඔබ්බවා නිම කර ඇති චූඩා මාණික්‍යය බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා අගෝස්තු 29 සිට සැප්තැම්බර් 03 දක්වා කැළණිය රජමහා විහාරයේදී ප්‍රදර්ශනය කරනු ලබන අතර, ඉන් අනතුරුව දින 150 ක කාලයක් බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා දිවයින පුරා වැඩම කරවීමට නියමිතය.
බුදුන්ගේ පා පහස ලද දීඝවාපිය පිංබිමේ ප්‍රතිසංස්කරණය කෙරෙන මහසෑ රදුන්ගේ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය සියැසින් දැක වන්දනාකර කුසල් උපදවා ගැනීමටත් එම ප්‍රතිසංස්කරණ කටයුතුවලට දායකවීමටත් සැදැහැ සිතැති ලක්වාසි ඔබ සැමට ද මින් අවස්ථාව සැලසෙනු ඇත.