අගෝස්තු 25, 2023
“දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා”
- දීඝවාපිය මහා සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍ය වන්දනාමානයට දිවයින පුරා වැඩම කරවීම
- වන්දනාමානයට දිවයින පුරා වැඩම කරවීමේ පුණ්‍යෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්
ලක්වැසි සැදැහැවත් ජනතාවට දීඝවාපිය මහා සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍ය සියසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් සිදුකිරීමට නියමිත සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍ය දිවයින පුරා වැඩමවීමේ මහඟු පිංකම මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ 2023 අගෝස්තු මස 29 දින පස්වරු 04.00 ට කැළණි රජමහා විහාරයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
ශ්‍රී බුද්ධ වර්ෂ 2567 (2023) නිකිණි මස 30 වන පොහෝය දින කැළණිය රජ මහා විහාරයෙන් ආරම්භ කරන දීඝවාපී මහ සෑ රඳුන්ගේ චූඩා මාණික්‍යය සහ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කැලණිය රජමහා විහාර භුමියේ අගෝස්තු 30 සිට සැප්තැම්බර් 03 දක්වා වන්දනාමානය සඳහා ප්‍රදර්ශණය කිරීමෙන් අනතුරුව දිවයින පුරා දින 150 ක කාලයක් බැතිමතුන්ගේ වන්දනාමානයට වැඩම කිරිමට නියමිතයි.
බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවා වදාළ පුජනීය සොලොස්මස්ථාන අතුරින් පූජනීය පුරාණ ආගමික ස්ථානයක් ලෙස දීඝවාපිය පුදබිම වන්දනීය වන අතර, බුදුරජාණන් වහන්සේගේ ‘නිය ධාතුන් වහන්සේ’ තැන්පත් කිරීමෙන් පසුකාලීනව රජ වූ සද්ධාතිස්ස රජතුමා විසින් මෙම ස්ථුපය ඉදිකර ඇත.
විවිධ ආක්‍රමණ හමුවේ හානියට පත් ව ඇති මෙම මහා සෑ රඳුන් පෙර තිබු ශ්‍රී විභූතියෙන් දැක ගැනීමේ අරමුණින් සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.
දීඝවාපි මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කිරිම් කටයුතු අතරතුර දකුණු මල් ආසනය ආසන්නයේ හමු වූ ගල්කරඬුවක් තුල රන් කරඬු 04 ක බහා නිදන් ගත කර තිබු සර්වඥ ධාතූන් වහන්සේලා මෙලෙස වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
මෙම ධාතූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ සහ රහතන් වන්සේලාගේ සර්වඥ ධාතූන් වහන්සේලා බවත්, පෙර රජ දවස රජකම් කල කනිකතිස්ස රජතුමා විසින් මෙම කරඬුන් වහන්සේලා සාදවා නිදන් කර ඇති බවට කරඬුන් වහන්සේලා සොයා ගන්නා අවස්ථාවේ ඒ අසල තිබි හමුවන ලද රන්පත් තීරූවක කර තිබු සටහන් තුලින් අනාවරණය විය.
බුදුන්ගේ පා පහස ලද දීඝවාපිය පිංබිමේ ප්‍රතිසංස්කරණය කෙරෙන මහා සෑ රජුන්ගේ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය සියැසින් දැක වන්දනාකර කුසල් උපදවා ගැනීමටත් දීඝවාපිය මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට දායකවීමටත් සැදැහැ සිතැති ලක්වාසී ඔබ සැමට ආරාධනා.....