ජුනි 17, 2023
දීඝවාපිය සෑයේ දෙවන අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීමට සැලසුම් කෙරේ
- ආරක්ෂක ලේකම් දීඝවාපිය සහ නීලගිරි සෑය ප්‍රතිසංස්කරණයේ ප්‍රගතිය සමාලෝචනය කරයි.
‘දීඝවාපිය’ සහ ‘නීලගිරි සෑය’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් භාරකතෘ සහ පළමුවන භාරකරු “ දීඝවාපිය අරුණභාරය” වන ආරක්ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජුනි 16) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
පුරාණ ස්ථූප ශිල්පීන් විසින් භාවිතා කල පරිදි ස්ථූප ඉදිකිරීම් සඳහා නිශ්චිත සම්මත ගඩොල් නිෂ්පාදනය කිරීම සහ ව්‍යුහය පවත්වා ගැනීම සඳහා නිශ්චිත බදාමයක් තෝරා ගැනීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී වැඩි අවධානය යොමුකරන ලදි.
පූජනීය දීඝවාපිය රජමහා විහාර පරිශ්‍රය තුළ යෝජිත වීශ්‍රාම ශාලා, බුද්ධ මන්දිරය සහ ධාතු මන්දිරයේ ඉදිකිරීම් පිළිබඳව සාකච්ඡා කිරීම ද මෙහිදී සිදුකෙරිණි.
වැඩ නිම කිරීමෙන් පසු ඇස්තමේන්තුගත උස අඩි 268 ක් වන මෙම ස්තූපය මේ වන විට චෛත්‍යයේ බිම් මට්ටමේ සිට ගර්භය කොටස දක්වා අඩි 57 ක උසක් දක්වා වැඩ නිම කර ඇති බව මෙම දීර්ඝ සාකච්ඡාවේදී අනාවරණය විය.
අරමුදල් වල වත්මන් තත්වය සහ අරමුදල් රැස්කිරීමේ මූලාශ්‍ර පිළිබඳව ද මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කරන ලදි.
බුදු රජාණන් වහන්සේ වැඩම කළ දීඝවාපිය බෞද්ධයන්ගේ පූජනීය සොලොස්මස්ථාන අතරින් පූජනීය පුරාණ ආගමික පුදබිමක් ලෙස සැලකේ.
ජෙනරල් ගුණරත්නගේ මඟපෙන්වීම යටතේ ආරම්භ වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මේ වන විට විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇත. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දානපතියන්ගේ නොමසුරු ආධාරවලින් සපයාගනු ලබන අරමුදල් වලින් සැදි ‘දීඝවාපිය අරුණ භාරකාර අරමුදල’ මගින් කටයුතු සිදුකරනු ලැබීය.
දීඝවාපිය සෑයේ අතීත ශ්‍රී විභූතිය පියවි ඇසින් දැක බලාගැනීමට දායකවීමට කැමති අයවළුන්ට පරිත්‍යාග ලබාදීම සඳහා www.deegawapiya.lk යන දීඝවාපිය වෙබ් අඩවිය හරහා විස්තර ලබාගත හැකි අතර, වැඩි විස්තර සඳහා deegawapiyaaruna@gmail.com හරහා හෝ 011 2430860-78 ඇමතීමෙන් ලබාගත හැක.
‘නීලගිරි මහා සෑය’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව ද මෙම අවස්ථාවේදීම ආරක්ෂක ලේකම්වරයා විසින් සොයා බලන ලදී. මෙම චෛත්‍යෙය් උස බිම් මට්ටමේ සිට අඩි 41 ක් දක්වා ඉහළ නංවා ඇති බව ද අනාවරණය විය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ අදාළ රාජ්‍ය ආයතනවල අධීක්ෂණය යටතේ පූජා භූමිවල පෞරාණික වටිනාකම සහ පැරණි ශ්‍රී විභූතිය ආරක්ෂා කරමින් මෙම ස්තූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.
දීඝවාපිය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත ස්වාමින් වහන්සේ,ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ සභාපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.එම්.ඒ නානායක්කාර, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන, ජාතික උරුමයන්, රංග කලා සහ ග්‍රාමීය කලා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ති ජයසිංහ, ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ ඉංජිනේරු කපිල පීරිස්, ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශයේ ඉංජිනේරු සංජිව විජේසිංහ, අධ්‍යක්ෂක(වාස්තු විද්‍යා සංරක්ෂක) ප්‍රසන්න බී රත්නායක, ‘දීඝවාපිය අරුණ භාරයේ’ ගණකාධිකාරී කේ.එල්.නිශාන්ති සහ ව්‍යාපෘති නිලධාරීන් මෙම රැස්වීමට එක්ව සිටියහ.