මාර්තු 03, 2023
දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ විද්වත් මණ්ඩලය රැස්වේ
දීඝවාපිය චෛත්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ විද්වත් මණ්ඩලය පසුගියදා (පෙබ 24) ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) ශ්‍රවණාගාරයේදී රැස් වූ අතර, ව්‍යාපෘතියේ ප්‍රගතිය ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සමාලෝචනය කරන ලදි.
අම්පාර දිස්ත්‍රික්කයේ පුරාණ බෞද්ධ පුදබිමක් සහ පුරාවිද්‍යාත්මක ස්ථානයක් වන දීඝවාපිය ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය සඳහා පසුගිය වසරේ දෙසැම්බර් 28 වැනි දින ඉදිකිරීම් භූමියේ නිරීක්ෂණ චාරිකාවක් සිදු කල විද්වත් මණ්ඩලය එම සංචාරයේ නිරීක්ෂණ සහ විශ්ලේෂණයන් මත පදනම්ව දීඝවාපිය ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු ශක්තිමත් කිරීම සඳහා ව්‍යාපෘති නිලධාරීන් වෙත තාක්ෂණික උපදෙස් ලබාදීම, ගැටළු පිලිබදව සාකච්ඡා කිරීම සහ ඉදිරි වැඩ කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව මෙම සැසියේදී අවධාණය යොමු කරන ලදි.
දීඝවාපි භාරකාර මණ්ඩලයේ භාරකතෘ වන ආරක්ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්නගේ මඟපෙන්වීම යටතේ පරිත්‍යාගශීලීන්ගේ නොමසුරු සහයෝගය ලැබෙන ‘දීඝවාපිය අරුණ භාරකාර අරමුදල’ හරහා එක්රැස් කරන ලද මුදලින් පුදබිමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ විය.
මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.එම්.ඒ. නානායක්කාර මහතා, යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එන්. ශක්ති සිවපරන් මහතා, රුහුණ විශ්වවිද්‍යාලයේ ආචාර්ය එච්.පී. සූරියාරච්චි මහතා, ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය නියෝජනය කරමින් ඉංජිනේරු කපිල පීරිස් මහතා, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ ඉංජිනේරු සංජීව විජේසිංහ මහතා, ව්‍යාපෘති කළමනාකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී කර්නල් ටී.කේ.ඩී. ධර්මසේන මහතා, ව්‍යාපෘති නිලධාරී කොමාණ්ඩර් එරන්ද වික්‍රමසිංහ, යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ කර්නල් කේ.එස්. මොහාන් කුමාර් (විශ්‍රාමික), පේරාදෙණිය විශ්වවිද්‍යාලය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්, වාස්තු විද්‍යාඥයින් සහ මිනින්දෝරුවන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.