පෙබරවාරි 19, 2026
දීඝවාපිය සෑයේ වත්මන් ප්‍රගතිය /ඉදිරි සැලසුම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම
දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමුවන භාරකරු වන ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ උපදෙස් පරිදි, දීඝවාපිය හා නීලගිරිය මහ සෑ රඳුන් වහන්සේලාගේ වත්මන් ප්‍රගතිය/ඉදිරි සැලසුම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පී එන් ද කොස්තා යූඑස්පී එන්ඩීසී ගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 13 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී දීඝවාපිය/නීලගිරිය චෛත්‍යයන්හි ඉදිකිරීම් සහ චෛත්‍යන්හි ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් අවසන් කිරීමට නියමිත ඉදිරි සැලසුම් සම්බන්ධව වැඩි අවධානයක් යොමුකරන ලදි.
බෞද්ධයන්ගේ පූජනීය පුරාණ ආගමික පුදබිම් වශයෙන් සැලකෙන දීඝවාපිය/ නීලගිරිය චෛත්‍යයන්හි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මේවන විට විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇත. දීඝවාපිය/නීලගිරිය චෛත්‍යයන්හි සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු සහ ඊට සමගාමිව සිදු කරනු ලබන ගඩොල් නිෂ්පාදන කටයුතු නිසි ප්‍රමිතියෙන් යුතුව අවශ්‍ය පරිදි සිදුකරන ලෙස, හමුදා සම්බන්ධතා නිලධාරී විසින් පැමිණ සිටි නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය. ඒ සඳහා විශේෂඥයින්ගේ උපදෙස් නිරන්තරයෙන් ලබා ගැනීමටත්, අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසත්, එහිදී අවධාරණය කළේය.
දීඝවාපිය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත ස්වාමින් වහන්සේ,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන නිලධාරීන්, දීඝවාපිය ව්‍යාපෘති භාර කළමනාකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී මෙන්ම, නීලගිරිය ස්තූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති භාර නිලධාරින් ඇතුළු නිලධාරින් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.
එහිදී, දීඝවාපිය සහ නීලගිරිය චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු වල වත්මන් ප්‍රගතිය, පවතින ගැටළු හා එම ගැටළු වලට අවශ්‍ය පිළියම් මෙන්ම ඉදිරි සැලසුම් ආදී වශයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් වන කරුණු රාශියක් සාකච්ඡා කරන ලදි.
