ජනවාරී 22, 2025
දීඝවාපිය සෑයේ වත්මන් ප්‍රගතිය/ඉදිරි සැලසුම් සහ ප්‍රතිසංස්කරණ
කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ
‘දීඝවාපි’ සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියෙහි වත්මන් ප්‍රගතිය/ඉදිරි සැලසුම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් එහි භාරකතෘ සහ පළමුවන භාරකරු “ දීඝවාපිය අරුණභාරය” වන ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (ජන. 21) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී ‘දීඝවාපිය’ චෛත්‍යයේ ගර්භයෙහි ඉදිකිරීම් සහ විශ්‍රාම ශාලාවෙහි නිම කලයුතු ඉදිකිරීම් සම්බන්ධ අදාල සැලසුම් පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලදි.
බෞද්ධයන්ගේ පූජනීය සොලොස්මස්ථාන අතරින් පූජනීය පුරාණ ආගමික පුදබිමක් ලෙස සැලකෙන ‘දීඝවාපිය’චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මේවන විට විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇත. ‘දීඝවාපිය’ චෛත්‍යයේ ගර්භයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු නිසි ප්‍රමිතියකින් සිදුකරන ලෙස සහ ඊට සමගාමිව ඉදිකෙරෙන විශ්‍රාම ශාලාව හා අනෙකුත් ඉදිකිරීම් කටයුතු ද අවශ්‍ය පරිදි සිදුකරන ලෙසත්, ආරක්ෂක ලේකම්වරයා මෙහිදී නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය. ඒ සඳහා විශේෂඥයින්ගේ උපදෙස් නිරන්තරයෙන් ලබා ගැනීමටත්, අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ද, ඔහු අවධාරණය කළේය.
දීඝවාපිය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත ස්වාමින් වහන්සේ, ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ සභාපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්, 24 පාබල සේනා මූලස්ථාන සේනාංකාධිපති, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන නිලධාරීන්, ව්‍යාපෘති භාර කළමනාකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී මෙන්ම, ව්‍යාපෘතිය සම්බන්ධව කටයුතු කරන නිර්මාණ ශිල්පීන්, සැලසුම් ශිල්පීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු නිලධාරින් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.