011 2430860-78 deegawapiyaaruna@gmail.com

දීඝවාපිය අරුණ

දීඝවාපිය යලි දැකීමේ උදාරතර ප්‍රයත්නය

පුජනිය දීඝවාපිය ස්ථූපය ප්‍රතිසංස්කරණය සදහා වූ ජාතික ප්‍රයත්නයක අවශ්‍යතාවය, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත්වීමෙන් අනතුරුව දීඝවාපිය මහා විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානයට යොමුකරන ලදී.

රටේ පුරාවිද්‍යාත්මකව වටිනා ස්ථාන සහ ජාතික උරුමයන් සංරක්ෂණය කිරීම ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ දැක්වෙන ප්‍රධාන කරුණකි.

මෙම උදාර අරමුණ මහා සංඝයා විසින් ඍජු අවධානයට යොමු කරනු ලැබුවේ මෑත අතීතයේ දී ස්තූපය අලුත්වැඩියා කිරීමට ගන්නා ලද උත්සාහයන් කිහිපයක් නිෂ්ඵල වීමේ අත්දැකීම් පදනම් කරගෙන ය.

ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන්ව ඇති ආකාරයට ජනාධිපති රාජපක්ෂ මැතිතුමා 2020 ජුනි මස 02 වන දින නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා සාමාජිකයන් 11 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකාය ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කරන ලද අතර ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා එහි සභාපති ලෙස පත් කළේය.

පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, උතුරු සහ නැගෙනහිර පළාත්වල ප්‍රධාන සංඝනායක පූජ්‍ය පනාමුරේ තිලකවංශ හිමි, විශ්ව විද්‍යාල විද්වතුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් මෙම ජනාධිපති කාර්ය සාධක බලකායේ සෙසු සාමාජිකයෝ වෙති.

2020 ජුනි 11 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති එහි සමාරම්භක රැස්වීමේදී ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් අමතමින් එහි සභාපති ආරක්ෂක ලේකම් සියළුම පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටියේ ජාති, ආගම් කුල භේද නොසලකා අනාගත පරම්පරාව සඳහා නැගෙනහිර පළාතේ ඓතිහාසික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා සහය ලබාදෙන ලෙසයි.

සමාරම්භක රැස්වීමේදී සභාපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ක්‍රියාවලිය සඳහා මූලික සැලසුම් සකස් කරන ලදී.

ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් වන පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, උතුරු සහ නැගෙනහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය පනාමුරේ තිලකවංශ හිමි, නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් බන්ඩාර දිසානායක, ඉඩම් කොමසාරිස් ජෙනරාල් චන්ද්‍ර හේරත්, මිනින්දෝරු ජෙනරාල් ඒ. එල්. එස්. සී. පෙරේරා, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් කුමාර් සෝමදේව, බුද්ධ සාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නැගෙනහිර පළාත් ඉඩම් කොමසාරිස් එච්. ඊ. එම්. ඩබ්ලිව්. ජී. දිසානායක, දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක යන සාමාජිකයන් ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සමාරම්භක රැස්වීමට සහභාගී වූහ.

ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සදහා 2020 අගෝස්තු 19 වන දින තවත් සාමාජිකයින් කිහිප දෙනෙකුද පත් කරන ලදී.

ඒ අනුව, අස්ගිරි පාර්ශවයේ අභිධාන අනුනායක අති පූජ්‍ය වෙඩරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල උපාලි හිමි, මල්වතු පාර්ශවයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ආචාර්ය පහමුනේ සුමංගල නායක හිමි, අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද නායක හිමි, මල්වතු පාර්ශව සංඝසභාවේ කාරක සභා සාමාජික ශාස්ත්‍රවේදි පූජ්‍ය අඹන්වල ශ්‍රී සුමංගල හිමි යන ස්වාමින් වහන්සේලා ජනාධිපති කාර්ය සාධක බලකාය සදහා පත් කරන ලදී.

පසුව, ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සහ අදාළ රාජ්‍ය නිලධාරීන්, ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම පිළිබඳ දීඝවාපිය විහාරයේ ප්‍රධාන නාහිමියන් සමඟ වැඩිදුර සාකච්ඡාවක් පැවැත්වීම සඳහා 2020 අගෝස්තු 29 වන දින අම්පාර දීඝවාපිය මහා විහාරය වෙත නිල සංචාරයක් සිදුකරණ ලදී.

දීඝවාපිය රජ මහා විහාරාධිපති පුජ්‍ය මහවැව සෝභිත හිමි, අරන්තලා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පුජ්‍ය කිරිදිවැල සෝමරත්න හිමි, බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂක සහ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ ප්‍රධාන නා හිමි පුජ්‍ය බොරලන්දේ වජිරඥාන හිමි, මැටිකොටුව පුරාණ රජ මහා විහාරයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය යටියන විමල බුද්ධ හිමි ඇතුළු මහා සංඝ රත්නය ඉහල පෙළේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය තිලක් රාජපක්ෂ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න, යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන්, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ. සී. ගමගේ, 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී. ඩී. වීරකෝන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රියර් අද්මිරාල් සෙනරත් විජේසුරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා 2020 ඔක්තෝබර් 16 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේදී තවත් රැස්වීමක් කැඳවා මහා සංඝ රත්නය සමග යෝජිත තොරතුරු වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කලහ.

මෙහිදී වැඩිදුර කරුණු පිළිබදව සාකච්ඡා කෙරුණු අතර රැස්වීම අවසන් වූයේ සුබ දිනයක් සහ වේලාවක් තුළ වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා තීරණ ගැනීමෙනි.

දීඝවාපිය රජ මහා විහාරාධිපති පුජ්‍ය මහවැව සෝභිත හිමි, බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂ සහ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති පුජ්‍ය බොරලන්දේ වජිරඥාන හිමි ඇතුළු මහා සංඝරත්නය සහ පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසනායක, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් (විශ්‍රාමික), ගෘහ නිර්මාණ ශිල්පීන්, මිනින්දෝරුවන්, ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මේ සදහා පැමිණ සිටියහ.

පූර්ව රැස්වීම් වලදී සාකච්ඡා කළ පරිදි මූලික සැලසුම් සම්පුර්ණ කිරීමෙන් අනතුරුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ මෙම පූජනීය විහාර භූමිය ප්‍රතිසංස්කරණය කිරීම 2020 නොවැම්බර් 11 වන දින අම්පාර දීඝවාපිය පුදබිමේදී ආරම්භ කරන ලදී.

අග්‍රාමාත්‍ය සහ බුද්ධසාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා දීඝවාපිය ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියට මුල්ගල් තැබීය.

ඒ අනුව සලපතල මලුව, ගර්භය සහ විශ්‍රාම ශාලාව මූලික අදියරේදී අවසන් කෙරේ.

අවට භුමියේ ආකර්ශනීය වටපිටාවක් ඇති කිරීම සඳහා ගස් සිටුවීමේ ව්‍යාපෘතියක්ද සැලසුම් කෙරේ.

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ මඟ පෙන්වීම හා අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමේ අරමුණ පෙරදැරිව “ දීඝවාපිය භාරකාර අරමුදල” පිහිටුවන ලදී.

මේ අනුව, ප්‍රතිසංස්කරණ කටයුතු සදහා අරමුදල් රැස් කිරීම ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි වෙසෙන බෞද්ධයන්ගේ දායකත්වයන් සිදුකරන අතර මේ සදහා රාජ්‍ය අරමුදල් භාවිතා නොකෙරේ.

පුරාවිද්‍යාඥයින්ගේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නිර්දේශයන්ට අනුව සිදුකරන මෙම ස්ථූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු වසර තුනක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා යුද හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙම උදාර කර්තව්‍ය සඳහා සහාය ලබා දෙනු ඇත.

පූජනීය දීඝවාපිය බෞද්ධ විහාරස්ථානය නැගෙනහිර පළාතේ ඇති ප්‍රධාන පුරාවිද්‍යාත්මක ස්ථානයන්ගෙන් එක් ස්ථානයකි. පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති මෙම භූමිය සද්ධාතිස්ස රජු විසින් ඉදිකරන ලද අතර මෙම මහා ස්ථූපය ඉදිකර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ ‘නිය ධාතුන් වහන්සේ ’ තැන්පත් කිරීමෙන් බවත් එහි ඉතිහාසය ක්‍රි.පූ 3 වන සියවස දක්වා දිව යන බවත් මහා වංශයේ සදහන් වේ.

මෙය දේශීය බැතිමතුන්ට පමණක් නොව ලොව පුරා වෙසෙන බෞද්ධයින්ටද පූජනීය ස්ථානයකි.

මෙම මහා පුණ්‍ය කර්මය සදහා හැකි සෑම අයුරකින්ම සහයෝගය ලබාදෙන ලෙස සියලු බැතිමතුන්ට, දානපතියන්ට සහ රටේ පුරවැසියන්ට ආරාධනා කරනු ලැබේ.


ගැසට් පත්‍රිකා - ජූනි 02, 2020

ගැසට් පත්‍රිකා - අගෝස්තු 24, 2020