011 2430860-78 deegawapiyaaruna@gmail.com

දීඝවාපිය ගැන

දීඝවාපිය පුරාණ විහාරය

බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවා වදාළ පුජනීය සොලොස්මස්ථාන අතුරින් පූජනීය පුරාණ ආගමික ස්ථානයක් ලෙස දීඝවාපිය ප්‍රචලිතය. මහාවංශයට අනුව දුටුගැමුණු රජතුමාගේ සොහොයුරා වන සද්ධාතිස්ස රජතුමා විසින් ඉදිකර ඇති දීඝවාපිය බෞද්ධ විහාරස්ථානය සහ එහි පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුතු භූමියේ ඉතිහාසය ක්‍රි.පු. 3 වන සියවස දක්වා ඈතට දිවෙන බව මහාවංශය සදහන් කරයි.

මෙම මහා ස්තූපය ඉදිකර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ ‘නිය ධාතුන් වහන්සේ ’ තැන්පත් කිරීමෙන් බව පුරාවෘත්ත සාක්ෂි දරයි.

බුදුරජාණන් වහන්සේ තෙවැනි වරට ලක්දිවට වැඩි අවස්ථාවේදී ශ්‍රී පාද කඳු මුදුනේ දවස ගත කිරීමෙන් අනතුරුව දීඝවාපිය වෙත වැඩම කල බව මහා වංශයේ සදහන් වේ.

කාවන්තිස්ස රජු දීඝවාපිය පුද බිම ආරක්ෂාකිරීම සදහා අශ්ව රථ සහිත සේනාවන් සමග තම දෙවන පුත් තිස්ස කුමරු යොදවා තිබු අතර කෘෂිකාර්මික වශයෙන් සරුසාර බිමක් වූ මෙම ප්‍රදේශයේ වගාකටයුතු සහ වාරිමාර්ග වැඩි දියුණු කිරීමේ කාර්යයද ඔහුට පවරා ඇති අතර එය එකල රටේ ආහාර නිෂ්පාදනයේ ප්‍රධාන තැනක් ගත් බව මහාවංශයේ සදහන් වේ.

දීඝවාපිය ස්ථූපය සහ මහා සංඝයා උදෙසා විහාරයක් පසුකාලීනව රජ වූ සද්ධාතිස්ස රජතුමා විසින් ඉදි කරන ලදී.

ක්‍රිස්තු වර්ෂ 1756 පමණ වනවිට පරිහානියට පත්ව තිබූ මෙම විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රජු (1747 - 1781) විසින් විශාල ලෙස ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර පූජ්‍ය බන්දිගිදේ නිග්‍රෝධ හිමියන් වෙත අමුණු 1000 ක (අක්කර 2000-2500) භූමි ප්‍රමාණයක් සමග පූජා කර ඇත.

1916 දී කොහුකුඹුරේ රේවත හිමියන් මෙම ස්තූපය සෙවීමට පටන් ගත් අතර කරත්තවල ගඩොල් රැගෙන යන මිනිසුන් උන්වහන්සේට හමුවී ඇත. මේ පිළිබඳව එම මිනිසුන්ගෙන් විමසු විට ඝන කැලෑව තුල ඇති විශාල ගඩොල් කන්දකින් ඒවා රැගෙන එන බව දැනගන්නට ලැබී තිබේ. ඒ අනුව එම ස්ථානය සොයාගිය උන්වහන්සේට නටඹුන් වී තිබු දීඝවාපි ස්තූපය සොයාගැනීමට හැකිවී ඇත.

පෘතුගීසි පාලන සමයේ ඔවුන්ගේ කරදර වලට ලක්ව සිටි වෙරළබඩ ජීවත් වූ ජනතාව සඳහා සෙනරත් රජතුමා එම ප්‍රදේශය ලබාදීමෙන් අනතුරුව ඔවුන් එම ප්‍රදේශය අත්පත් කරගෙන සිටින ලදී. තවද සෙනරත් රජතුමා මෙම පීඩිත ජනතාවට සරණක් වුවා පමණක් නොව, ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු නිදහසේ කරගෙන යාම සඳහා පෘතුගීසි බලකොටුවක් වන “දීඝවාපි තිත” නම් වරායද නිදහස් කර ගත්තේය. රේවත හිමියන් දීඝවාපිය විහාරයට අයත් අක්කර 250 ක භුමි ප්‍රමාණයක් නැවත විහාරයට පවරා ගෙන කොළඹ සිට පැමිණි තවත් බෞද්ධයන් කිහිප දෙනෙකුගේ සහයෝගයෙන් මෙම පුරාණ විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට පටන් ගත්හ.

පසුව 1950 දී කොහුකුඹුරේ රේවත හිමියන්ව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් අමානුෂික ලෙස ඝාතනය කරන ලදී.